කළුතර ප්‍රදේශයේ බොහෝ වගාවන් සඳහා වඳුරන් රිලවුන් වැනි සතුන්ගෙන් මේ වන විට සිදුවන බරපතල ඵලදා හානි අවම කරගත හැකි වන සේ එම සතුන් පලවා හැරීම සඳහා උපයෝගී කරගත හැකි අඩු වියදම් වායු සම්පීඩන තුවක්කුවක් නිර්මාණය කිරීමට කළුතර විද්‍යාලය ජාතික පාසලේ 8-D පංතියේ ඉගෙනුම ලබන ජේ. පී. රශාන් නවාංජන ශිෂ්‍යයා සමත් වී තිබේ.
කුඩා බැටරියකට සමාන හැඩැති ග්‍රෑම් පහළවක් පමණ බරින් යුත් ඝන ද්‍රව්‍යයක් මීටර් දෙසීයක් පමණ උසකට අධික වේගයෙන් විදිය හැකි ලෙස එම වායු තුවක්කුව නිර්මාණය කර ඇති අතර ඒ සඳහා මෙම ශිෂ්‍යයාට වැය වී ඇති මුදල රුපියල් අටසියයක් පමණ වේ.
කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් හෙට ලොවට ළමා නිපැයුම් යන තේමාව යටතේ පසුගියදා කළුතර ඥානෝදය මහා විද්‍යාලයේදී පවත්වනු ලැබූ පාසල් සිසුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනයේදී මෙම නිර්මාණය සඳහා කුසලතා සහතිකයක් ද හිමිවී ඇති අතර පසුව ජාතික විද්‍යා දිනය 2015 වෙනුවෙන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ නිර්මාණශීලී නව නිපැයුම් පිළිබඳ වැඩමුළුව සඳහා ඉදිරිපත් කිරීමට ද භාග්‍යය හිමිකර ගන්නා ලදී.




0 comments:
Post a Comment