1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    කුසල් ජනිත්ගේ බී සාම්පලයේත් උත්තේජක


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ගේ බී සාම්පලයේත් තහනම් උත්තේජක තිබෙන බව තහවුරු වී ඇතැයි අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචිමාර්ග පවසයි.
    එවැන්නක් තවමත් නිල වශයෙන් තමන්ට දැනුම් දී නැතත්, බී සාම්පලයේත් තහනම් උත්තේජක තිබෙන බව කටාරයේදී කරන ලද පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි නිල නොවන වශයෙන් දැනගන්නට ලැබුණු බව ක්‍රීඩා අධ්‍යක්ෂ කේඩී රුවන්චන්ද්‍ර සංදේශයට පැවසීය.
    තහනම් උත්තේජක තිබෙන බව බී සාම්පලයෙන්ද සනාථ වී තිබෙන බැවින්, කුසල් ජනිත් පෙරේරා ට වසර හතරක තහනමක් පැනවීමේ හැකියාවක් පවතින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණි.

    කුමන්ත්‍රණයක්?

    මේ පිළිබඳව සංදේශය කළ විමසීමකදී, ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කළේය.
    බී සාම්පලය සම්බන්ධ පරීක්ෂණය අවසන් වී ඇතත්, ජගත් පාලක මණ්ඩලයේ විනය පරීක්ෂණය තවමත් පැවැත්වෙන බැවින් දඬුවම තවමත් තීරණය වී නැති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් සංදේශයට අනාවරණය වේ.
    තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් වසර හතරක් දක්වා වූ තරඟ තහනමක් පැණවීමේ හැකියාව පවතින අතර, මීට ඉහතදී එම දඬුවමට ලක් වූ උපුල් තරංග ගේ දඬුවම් කාලය මාස තුනක් දක්වා අඩුකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සමත්වූහ.
    කුසල් ජනිත් දැනුවත්ව කිසිදු තහනම් උත්තේජකයක් භාවිතා නොකළ බව ඔහු තමන්ට දැනුම් දුන්නේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ජෙරොම් ජයරත්න නවසීලන්තයේදී මාධ්‍ය හමුවේ පැවසීය.
    එබැවින් අයිසීසී ය සිය තීරණය දැනුම් දුන් පසු, කුසල් ජනිත්ගේ කරුණු දැක්වීම පදනම් කරගෙන ඔහු වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවද ක්‍රීඩා අධ්‍යක්ෂ කේඩී රුවන්චන්ද්‍ර සංදේශයට පැවසීය.
    "ඇමැතිතුමාත්, අපිත් බලාපොරොත්තු වෙනවා යම් තහනමක් පැනෙවුවොත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්න," ඔහු පැවසීය.
    ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් අහිමිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පාඩුවක් බව ක්‍රීඩා විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර, එය කුමන්ත්‍රණයක් දැයි සැක සිතෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණි.
    වැඩිදුර විස්තර විමසීම පිණිස ක්‍රීඩා අමාතවරයා ඇමතීමට අප දැරූ උත්සාහය සාර්ථක නොවීය
    bbc.com/
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කුසල් ජනිත්ගේ බී සාම්පලයේත් උත්තේජක Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top