වස විසෙන් තොර ආහාර පරිභෝජනය
ආහාරයට තමන් ගේ ම ගෙවත්තේ එළවළු, පලතුරු වගා කරගත් අතීත මිනිසා ඒ මත යෑපෙමින් වඩාත් නිරෝගී ව දිගු කාලයක් ජීවත් විය. ඔවුනට වුවමනා පෝෂණය ලබාගන්නට විනාඩියෙන් දෙකෙන් කදිමට රසකාරක, වර්ණකාරක යොදා පිළියෙල කළ හැකි ක්‌ෂණික ආහාරයක් යොදාගන්නට කිසි විටෙකත් අවශ්‍යතාවක් තිබුණේ නැත. එහෙත් අද...?
ක්‌ෂණික පන්නයේ සහ වස විසෙන් ගැවසුණු ආහාර සොයා වෙළෙඳසල් කරා පාරිභෝගිකයා ඇදෙන්නේ රැල්ලට ය. මෙවැනි අනේකවිධ ආහාර ද්‍රව්‍යයන් ගෙන් මලු පුරවාගන්නා පාරිභෝගිකයා සාමාන්‍යයෙන් ඒවායෙහි ප්‍රමිතිය ගැන නො විමසයි. මේ බොහොමයක සැඟවී ඇති සෞඛ්‍ය තර්ජන ගැන තැකීමක් නො කරයි. මෙවැනි චර්යාවකට හුරු වී සිටින නූතන මිනිසා වැඩි වැඩියෙන් තමන් වෙත රෝගාබාධ කැඳවාගනිමින් සිටියි.
"වස විස නැති රටක්" යන්න පෙරදැරි කරගනිමින් වත්මන් රජය තුන් අවුරුදු සැලැස්‌මකට මුල පුරන්නේ මෙවන් පසුබිමක ය. කාබනික පොහොර රැඳි පසෙහි භෝග වගා කරන්නටත්, මතභේදයට තුඩු දී ඇති වල්නාශක, ශාක වර්ධක ආදිය භාවිත නො කරන්නටත් ජනයා පෙලඹවිය යුතු බවට මේ වන විට ප්‍රබල විද්වත් කතිකාවතක් ඇති වී තිබේ. ආහාර රසකාරකයක් වන මොනො සෝඩියම් ග්ලූටමේට් (MSG) තොග පිටින් රට තුළට ආනයනය කිරීම සීමා කිරීම මේ ක්‍රියාදාමයේ මෑතකාලීන ම සිදුවීමයි.
👍
ReplyDelete