1130x220 AdSpace

  • Latest News

    Thursday, February 18, 2016

    තිරිමාන්න,කසුන් රාජිත,සීක්කුගේ විස්සයි විස්සට නැහැ


    ලබන මස ඉන්දියාවේ දී ආරම්භ වන විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද(18) ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
    වේග පන්දු යවන ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ශාරීරික ආබාධ හේතුවෙන් ඉන්දියාවත් සමග පසුගියදා පැවති 'විස්සයි විස්ස' තරගාවලියට සහභාගී නොවුන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් කුලසේකර කැඳවනු ලැබ ඇත.
    2014 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද කණ්ඩායමට යළි කැඳවා තිබේ.
    ශ්‍රී ලංකාවේ පැවැති පන්දුවාර විස්‌සයි විස්‌ස පළාත් තරගාවලියේ දක්ෂතා අතර සිටි නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිති කරුවකු හා අතිරේක කඩුලු රකින්නකු ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර ඔහු පසුගියදා ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියේ අසාර්ථක විය.
    දේශීය විස්‌සයි විස්‌ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ෂානකටද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබෙන අතර ආරම්භක පිතිකරු දනුෂක ගුණතිලකගේ ස්ථානය හිමිව තිබෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසුරියටයි.
    තිලකරත්න ඩිල්ෂාන්, ෂෙහාන් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, චාමර කපුගෙදර, දසුන් ෂානක, නිරෝෂන් දික්‌වැල්ල හා මිලින්ද සිරිවර්ධන පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වන අතර වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා සහ නුවන් කුලසේකර කණ්ඩායමට ඇතුලත්ව සිටියි.

    තරඟාවලි දෙකක්

    වේග පන්දු යවන්නන් ලෙස නායක ලසිත් මාලිංග සහ දුෂ්මන්ත චමීර නම් කර තිබේ. දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත්, සචිත්‍ර සේනානායක සහ ජෆ්රි වැන්ඩ්‍රසි ක්‍රීඩා කිරීමට නියමිතයි.
    පෙබරවාරි 24 වැනිදා බංග්ලාදේශයේ දී ආරම්භවන 'විස්‌සයි විස්‌ස' ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේත් ඉහත කී කණ්ඩායමයි.
    ඉන්දියාවේ දී දස්කම් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත, පළපුරුදු පිතිකරු ලහිරු තිරිමාන්න හා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීමද විශේෂත්වයකි.
    විස්‌සයි විස්‌ස ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා කණ්ඩායම
    ලසිත් මාලිංග (නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, ෂෙහාන් ජයසුරිය, සචිත්‍ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්‌වැල්ල

    උපුටාගැනිම bbc.com 
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: තිරිමාන්න,කසුන් රාජිත,සීක්කුගේ විස්සයි විස්සට නැහැ Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top