1130x220 AdSpace

  • Latest News

    Wednesday, March 2, 2016

    කුලියාපිටියේ දරුවාට ස්ථීර වශයෙන්ම HIV නැහැ - ඒඩ්ස් මර්දන වැඩසටහන

    පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට එච්අයිවී ආසාදනය වී නොමැති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පවසයි.
    'එච්අයිවී තිබුණා වුනත් කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය ලබන්න තිබෙන අයිතිය නැති කරන්න බැහැ. දැන් ලංකාවේ එක දරුවෙක් නොවෙයි. එච්අයිවී ආසාදිත වූ දරුවන් රාශියක් ඉන්නවා. ඔවුන් පාසල් යනවා. ඔවුන් මිය යන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා' විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ සඳහන් කළේය.
    පසුගිය බ්‍රහස්පතින්දා දරුවා පාසලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සෙසු දරුවන්ගේ දෙමව්පියන් ඊට විරෝධය පළ කරමින් සිය දරුවන් පාසල වෙත රැගෙන ඒමෙන් වැළකී සිටියේ ඔහුට එච්අයිවී ආසාදනය වී ඇතැයි පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙනුයි.
    ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කොට කරුණු පහදා දීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කොට ඇතත් ඇතැම් පිරිස් එම දුර්මතයේ තවමත් එළඹ සිටින බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

    දුර්මත

    ''ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වෙලා ඒ දෙමව්පියන් හමු වෙලා, සාකච්ඡා කරලා, මේ කරුණු පහදලා දෙන්න උත්සාහ කළා. නමුත් කොතරම් පහදලා දුන්නත් සමහර පුද්ගලයන් එය පිළිගැනීමට සුදානම් නැහැ.''
    නාගරික ජනතාවට සාපේක්ෂව ග්‍රාමීය ජනතාව එච්අයිවී වෛරසය සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමේදී විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ සඳහන් කළේ එච්අයිවී වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි.
    ''සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සමහර වෙලාවට අවශ්‍ය තරමට කෙරෙන්නේ නැතුව ඇති. ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග තව උත්සන්න කළ යුතු බවට කිසිම වාදයක් නැහැ.''
     ලංකාව තුළ පවතින එච්අයිවී වසංගතයේ මට්ටම විද්‍යාත්මකව තක්සේරු කොට ඒ මත පිහිටා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රට තුල එච්අයිවී ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක තබා ගැනීමට හැකි වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කුලියාපිටියේ දරුවාට ස්ථීර වශයෙන්ම HIV නැහැ - ඒඩ්ස් මර්දන වැඩසටහන Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top