ඈත අතීතයේ විසූ අපේ මුතුන් මිත්තෝ උදෑසන ආහාරයට පළමුව "කොළ කැඳ" කෝප්පයක රස බැලීමට පුරුදුව සිටියහ.
කොළ කැඳ පානයෙන් ආයුෂ, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ගෙන දේ. පිපාසය සංසිඳවන සිරුර සැහැල්ලු කරවන රුව වඩවන කැඳ වර්ග කීපයකි මේ,
මොණර කුඩුම්බිය කැඳ
මෙය ගෙවත්තේ වැඩෙන පැළෑටියකි. සම්පූර්ණයෙන්ම මුළු පැළෑටියම කැඳ සඳහා යොදා ගැනේ.
වාතය, සෙම සහ පණු රෝගද නසාලයි. ලේ පිරිසිදු කරන අතර රක්ත පිත්තයට, සෙංගමාලයට අප්‍රමාණව ගුණ දේ. විශේෂයෙන් අධික මත්පැන් පානය නිසා ඇතිවන අක්මා ඉදිමුමට ගුණදෙයි.
කොහිල කැඳ
වගුරු සහිත බිම්වල හොඳින් වැඩෙන මෙහි කොළ මෙන්ම අලද කැඳ සඳහා යොදා ගැනේ.
පිත සමනය කරවන අර්ශස් රෝගයට විශේෂ ගුණදෙන කොහිල කැඳ අක්මාවෙහි හට ගන්න විෂ තත්ත්වයන් නසා දමා උදරයෙහි වේදනාව, දැවිල්ල සහ මළ බද්ධය තුරන් කර දමයි. මළ පිටවීම පහසු කරයි.
ඉරමුසු කැඳ
මෙයද ගෙවතුවල හොඳින් වැඩෙන පැළෑටියකි. සම්පූර්ණ පැළෑටියම කැඳ සඳහා යොදා ගනියි. සුවඳින් යුක්ත දර්ශනීය පැළෑටියකි.
ඉරමුසු භාවිතයෙන් සාදන කැඳ පිත සමනය කර ශුක්‍ර වඩවයි. ආහාර රුචිය වඩවා වාත රක්තය, මුත්‍රා දැවිල්ල, ශාරීරික දාහය, බඩ පිපුම යනාදියටද ගුණගෙන දේ. සුවිශේෂිව ඔසප් වේදනාව නසා තරුණ බව රැකදෙයි.
ගෙවතුවල වැවෙන පැළෑටියකි. මුළු පැළෑටියම කැඳ සෑදීම සඳහා යොදා ගැනේ. මොළයට හිතයි. ස්නායු ශක්තිමත් කරන අතර ධාරණ සහ ස්මරණ ශක්තිය වඩවයි. කට හඬ මිහිරි කර දිගාසිරි වඩවා සම වර්ණවත් කරවයි.
සිරුර ජරාජීර්ණ භාවයට පත් වීමද වලක්වන අතර කුෂ්ට, ප්‍රමේහ(දියවැඩියා), පාණ්ඩු, උන්මාද, පීනස, අපස්මාර රෝගීන්ට දැඩිසේ ගුණගෙන දේ. මුත්‍රකාරක ගුණයෙන්ද යුක්තය. ලේ පිරිසිදු කොට මළ ලිහිල් කරවා ආහාර රුචිය ගෙන දේ.
වැල්පෙනෙල කැඳ
සම්පූර්ණ පැළෑටියම කැඳ සඳහා යොදා ගනියි. අස්ථි ශක්තිමත් කරයි. විශේෂයෙන් ධාතු දුර්වලතා සමනයකර ධාතු ශක්තිය වර්ධනය කරන වාජීකරණ ඖෂධීය පැළෑටියකි.
ශරීරය පෘෂ්ටිමත් කර බුද්ධිය, ධාරණ ශක්තිය, ප්‍රඥාව වර්ධනය කරවයි. කල්ගිය කැස්ස සහ අණ්ඩ වෘද්ධිය සඳහා ප්‍රශස්තය. මුත්‍රා, මළ බද්ධය නසා සන්ධි ඉදිමුමටද ගුණදායක වේ.
හාතාවාරිය කැඳ
දැකුම්කළු වැල් විශේෂයකි. හාතාවාරිය කැඳෙහි රසවත් බවද දිවට වඩාත් සුවිශේෂිය. පිත සමනයකර දාහය, සන්ධි රෝග, වාත රෝග, ස්නායු රෝග සඳහා ගුණදායකය.
එමෙන්ම අම්ල පිත්ත, අතීසාරය, බඩගිනි මදකම, අර්ශස්, ග්‍රහණි, ගුල්ම ආදී රෝගයන්ටද ප්‍රශස්තය. හෘදයට පවා හිතැති අතර රක්ත පිත්තය, ඉදිමුම නසයි. ලේ පිරිසිදු කරයි, ගර්භ පෝෂක සහ ශුක්‍ර වර්ධකය, වාජීකරණ ගුණයෙන්ද යුක්ත වන අතර මවුකිරි වර්ධනයටත් කාන්තා රෝග සඳහාත් ගුණදායකය.
උපුටා ගැනීම මව්බිම
(මීගමුව ශ්‍රී පුලස්ති වෛද්‍ය විද්‍යාලයේ ආචාරිණී ආයුර්වේද වෛද්‍ය කාන්ති මදුරප්පෙරුම)
0 comments:
Post a Comment