හල්දුම්මුල්ල ඔසු උයන
ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබන ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හල්දුම්මුල්ල ඖෂධ උද්‍යානය හෙවත් "හල්දුම්මුල්ල ඔසු උයන" ඉතා මනරම් වූ දර්ශනීය ස්ථානයකි.
1985 වසරේදී මෙම සුවිශේෂී ඔසු උයන නිර්මාණය කෙරිණි. කොළඹ බදුල්ල මාර්ගයෙහි කොළඹ සිට කිලෝමීටර් 66ක් පමණ දුරින් පිහිටා තිබෙන හල්දුම්මුල්ල ඔසු උයන අක්කර 65ක භූමි භාගයකින් සමන්විත වන අතර හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, කොළඹ යන දිස්ත්‍රික්ක මෙයට කදිමට දර්ශනය වේ. මෙම ඔසු උයන පිහිටි හල්දුම්මුල්ල නම් සුන්දර පරිසර භූමි ප්‍රදේශය සෞඛ්‍ය දේශගුණයෙන් යුක්තය. ශීත, තෙත්, වියළි යන කලාප තුනටම අයත් ඖෂධ පැළෑටි මෙහි දක්නට ලැබීම සුවිශේෂී කරුණකි. විශේෂයෙන් "දාරු හරිද්‍ර" නමැති ඉන්දියාවේ පමණක්ම වැවෙන දුර්ලභ ඝනයේ ඖෂධීය පැළෑටියද හල්දුම්මුල්ල ඔසු උයනේ හොඳින් සරුසාර ලෙස වැඩී තිබීම අහඹු දසුනකි.
එලෙසම හල්දුම්මුල්ල ඔසු උයනේ පවතින්නාවූ නිසංසල සිසිලසකින් පිරි පරිසරය සිතට මෙන්ම ගතටද අස්වැසිල්ලකි. බොහෝ දුරට මෙය සංචාරක කුරුලු පාරාදීසයක් ලෙස හැඳින්විය හැකිය. වැලි මුවා, අළු කෑදැත්තා, ශ්‍රී ලංකා මයිලගොයා, ගිරා මලිත්තා ආදීන් වගේම "ශ්‍රී ලංකා බර්ඩ් වින්" නමැති සුවිශේෂී සමනල විශේෂයද මෙම ඔසු උයනේ සුවය ලබමින් නිදහසේ සැරිසරති. තවත් විශේෂත්වයක් වනුයේ මේ සියලුම සත්ත්ව විශේෂයන් සිරිලකට පමණක් ආවේණික වීමය. වඳවීමේ තර්ජනයට මුහුණ දෙන දුර්ලභ තත්ත්වයේ "ඔසු පැළ" හල්දුම්මුල්ල ඔසු උයනෙහි ඕනෑ තරම් ඇත.
එම දුර්ලභ ඔසු පැළ අතර සංජීවනී, බාඳුරා, කොතල හිඹුටු, ඉරරාජ, සඳරාජ, වනරාජ, කුඩා හැඩයා, මහ හැඩයා, නඟා මැරූ අල, දුහුදු, වෙනිවැල්, බිං කොහොඹ සහ ඒකාවේරිය ආදිය ප්‍රධාන වේ.
එපමණක් නොව ඉඟුරු, ගස් තිප්පිලි, වැල් තිප්පිලි, කෝමාරිකා, බිං කොහොඹ, රත් නෙටුල්, කපු කිණිස්ස, හීන් අරත්න, මලික, විෂ්ණුක්‍රාන්ති, එල බටු, කප්පර වල්ලිය, ඉරිවේරිය, නිල් අවරිය, අමුක්කරා, සැවැන්දරා, කොල්ලන් කොළ, වැල්මදට, සුදුහඳුන්, වෙනිවැල්, මදකහ, කහ වැනි ආර්ථික වශයෙන් වටිනාකමෙන් පිරි ඖෂධීය ශාකයන්ද මෙහි රෝපණව ඇත.
එමෙන්ම හීන් අනිත්ත, ඉල්ල, දිවි පහුර, සිවිය අදු, බලු නකුට, කහට, දත්කැටියා, හීන් බෝවිටියා, කම්පිල්ල, මහරත්මල් ආදී ලොකු කුඩා ශාක විශේෂද හල්දුම්මුල්ල ඔසු උයනේ සරුසාරව වැඩේ. වෛද්‍යවරුන්, වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසල් දරු දැරියන් මෙන්ම පරිසර හිතකාමීන් යන මේ සියලුම ක්ෂේත්‍රවල නියැළෙන්නන්ට දැනුම උකහා ගැනීමට කදිම තෝතැන්නක් වන මේ ඔසු උයන වරක් පැමිණි අයකු නැවැත වරක් පැමිණීමට ආශාවෙන් සිටින රමණීය බිමකි. අධ්‍යාපනය, විනෝදය, මිහිරියාව ලබන්නට ඉතාම සුන්දර පරිසරයක් වන හල්දුම්මුල්ල ඖෂධ උද්‍යානය සුරක්ෂිතව අනාගත පරපුරට දායාද කිරීම පරිසර හිතකාමී අප සැමගේ යුතුකම වන්නේය.
උපුටා ගැනීම සියල්ල අන්තර්ජාලයෙනි.
0 comments:
Post a Comment